6
දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන ක්‍රීඩකයන් 7ක් තරගාවලියට ක්‍රීඩා නොකරති.
මතීෂ පතිරණ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර, ඒෂාන් මාංලිංග, කමිඳු මෙන්ඩිස් හා දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් හත්දෙනා මේ මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන හෙයින් දේශීය සිවුදින ක්‍රිකට් තරගාවලිය අහිමිවී ගොස් තිබේ. අයිපීඑල් තරගාවලියට සහභාගි වීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් මේ ක්‍රීඩකයන්ට අවසර ලිපි නිකුත් කිරීමට පියවර ගෙන ඇත.
එබැවින් මෙවර අයිපීඑල් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් හත්දෙනාට ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රුපියල් කෝටි 26.95ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 91ක්) ගෙවීමට එකඟතා පළකර ඇති හෙයින් එම තරගාවලියට අනිවාර්යයෙන් සහභාගි විය යුතු වේ.
අයිපීඑල් තරගාවලියට සහභාගිවන මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 13කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 44ක්) චෙන්නායි සුපර් කිංග්ස් පිල මිලදී ගත් අතර, එය මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයකුගේ වැඩිම ගෙවීම වේ. වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 18ක්) හා මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.4කට ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 15ක්) රාජස්ථාන් රෝයල් මිලදී ගත්හ.
වේග පන්දු යවන නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.6කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 5.5ක්) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල, ඒෂාන් මාලිංග ඉන්දීය රුපියල් කෝටි 1.2කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 3.5ක්) හා කමිඳු මෙන්ඩිස් ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5ක්) සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත්තේය. වේග පන්දු යවන දුෂ්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් පිල ඉන්දීය රුපියල් ලක්ෂ 75කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 2.5ක්) තක්සේරු කළේය.
රතු පන්දුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල නියෝජනය කරන සියලු ක්‍රීඩකයන්ට මේ තරගාවලිය අනිවාර්ය කර ඇති අතර, මේ තුළින් උසස් තත්ත්වයේ සිවුදින ක්‍රිකට් තරගාවලියක් මෙවර අපේක්ෂා කෙරේ. නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන සෑම වසරකදීම බොහෝවිට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලට විදෙස් තරගාවලි පැවති හෙයින් මෙරට ප්‍රමුඛතම ක්‍රීඩකයන්ට දේශීය තරගාවලිය අහිමිවී ගියේය.
මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන මුල් පෙළේ ක්‍රීඩකයෝ 100කට වැඩි පිරිසක් මේ තරගාවලියට එක්වන අතර, ක්‍රීඩකයෝ 20 බැගින් කොළඹ, ගාල්ල, මහනුවර, දඹුල්ල හා යාපනය යන කණ්ඩායම් 5ක් යටතේ ක්‍රීඩා කරති. තරගාවලිය ආරම්භ කරමින් හෙට සිට 16 දක්වා ගාල්ල – මහනුවර අතර හම්බන්තොටදී හා යාපනය – කොළඹ අතර ගාල්ලේදී තරග පැවැත්වේ.
ප්‍රින්ස් ගුණසේකර