Home Sport News Room : රුමේෂ් සහ අරුණ හෙට සිඩ්නි තරග බිමට

News Room : රුමේෂ් සහ අරුණ හෙට සිඩ්නි තරග බිමට

0
0

ඕස්ට්‍රේලියාවේදී හෙට (15) පැවැත්වෙන ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ හිටපු හෙල්ල විසිකිරීම ජාතික ශූර රුමේෂ් තරංග සහ මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන සහභාගිවීමට නියමිතය.

මේ තරගාවලිය ලෝක මලල ක්‍රීඩා මහාද්වීපික තරගාවලි මාලාවේ ‘චැලේන්ජර් තරගාවලියක්’ ලෙස පැවැත්වෙන්නකි.

ඔවුන් දෙදෙනාම මේ වන විට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින අතර රුමේෂ් තරංග පසුගිය සතිවල ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලි 2ක් සඳහා ද සහභාගී වූවේය.

එහිදී ඔහු ‘ස්ට්‍රයිව් ප්‍රෝග්‍රෑම් – ඒ’ තරගාවලියේදී මීටර් 82.66ක දක්ෂතාවක් දැක්වූ අතර ‘පර්ත් ට්‍රැක් ක්ලැසික්’ තරගාවලියේදී මීටර් 85.41ක දක්ෂතාවක් දක්වමින්, ඒ වන විට වසරේ හොඳම දක්ෂතාව දැක්වීමට සමත් විය.

මේ වන විට රුමේෂ්ගේ එම විසිකිරීම් දෙක වසරේ හොඳම විසිකිරීම් අතර දෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසු වේ.

අරුණ දර්ශනද රුමේෂ් තරග කළ ‘පර්ත් ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා සහභාගීවීමේ සූදානමෙන් පසු වූ නමුත් ඔහුට වීසා ප්‍රමාදය හේතුවෙන් එම තරගාවලිය සඳහා නිසි වේලාවට ළඟා වීමට නොහැකි විය.

මෙය ඔහු මෙම තරගවාරයේ සහභාගී වන පළමු තරගාවලිය වන අතර තරගාවලියේ ඉසව්ව සඳහා සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් අතරින් පෞද්ගලික හොඳම කාලය (තත්පර 44.99) හිමි ක්‍රීඩකයා අරුණ වේ.

ඔහු එම කාලය පැරිස් ඔලිම්පික් උළෙලෙහිදී මූලික වටයේදී වාර්තා කරන ලදී.

මේ අතර රුමේෂ් සතු වූ ජාතික වාර්තාව පසුගිය සතියේදී අලුත් කරමින් ටෝකියෝ ලෝක ශූරතාව සඳහා ද සුදුසුකම් ලැබූ සුමේධ රණසිංහ මෙන්ම මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ යන දෙදෙනා මෙම ‘සිඩ්නි ට්‍රැක් ක්ලැසික්’ තරගාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩක ලැයිස්තුව සඳහා ඇතුළත්ව සිටි නමුත් ඔවුන් ඒ සඳහා සහභාගී නොවනු ඇති බවට වාර්තා වේ.

හෙට ‘සිඩ්නි ඔලිම්පික් පාක්’ මලල ක්‍රීඩා සංකීර්ණයේදී හෙල්ල විසිකිරීමෙන් මීටර් 85.50 සහ මීටර් 400 ඉසව්වෙන් තත්පර 44.85 යන දක්ෂතාවලට ළඟා වුවහොත් ටෝකියෝ ලෝක ශූරතාවලිය සඳහා සෘජු සුදුසුකම් හිමිකර ගැනීමට රුමේෂ් සහ අරුණට අවස්ථාව උදා වනු ඇත.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here