ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සහ ඉරාන හමුදාව ඒකාබද්ධව මෙම ප්‍රහාර දියත් කර ඇති අතර, ඇමෙරිකාව තවදුරටත් මෙවැනි ක්‍රියාවල නිරත වුවහොත් මීට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට ද අනතුරු අඟවා ඇත.
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව, හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ ඇමෙරිකානු නෞකා සිදුකළ නීතිවිරෝධී ගමන් බිමන් හේතුවෙන් හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු, ඇමෙරිකාව විසින් ඉරාන වෙරළ තීරයේ සන්නිවේදන කුළුණු සහ කඳවුරු වෙත ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ.
ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරාන ගුවන් අභ්‍යවකාශ බලකාය විසින් ප්‍රථමයෙන් ජෝර්දානයේ පිහිටි ‘ප්‍රින්ස් හසන්’ ගුවන් හමුදා කඳවුරේ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇත.
ප්‍රහාරයේ දෙවන අදියරේදී කටාර්හි පිහිටි උපායමාර්ගික වශයෙන් වැදගත් ‘අල් උඩෙයිඩ්’ ඇමෙරිකානු ගුවන් කඳවුර වෙත බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, එහිදී ප්‍රහාරක යානා නඩත්තු මධ්‍යස්ථානය සහ විධාන ඒකකය විනාශ වූ බව ඉරානය පවසයි. තෙවන අදියරේදී ඕමානයේ ‘ඩුක්ම්’ වරායේ පිහිටි ඇමෙරිකානු නාවික සැපයුම් මධ්‍යස්ථාන සහ ගුවන් යානා වාහක නෞකාවලට ඉන්ධන සපයන පර්යන්ත වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබේ.
මේ අතර, ඉරාන හමුදාව විසින් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමෙරිකානු මධ්‍යස්ථාන වෙත ස්වයං-විනාශකාරී ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරවලින් කුවේටයේ පිහිටි ‘පේට්‍රියට්’ ගුවන් ආරක්ෂණ පද්ධතියක්, පතොරම් ගබඩාවක් සහ රේඩාර් පද්ධතියක් විනාශ වී ඇති අතර, බහරේනයේ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානයකට ද දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු මධ්‍යම විධානය ප්‍රකාශ කළේ, හෝමුස් සමුද්‍ර සන්ධිය පාලනය කිරීමට ඉරානය සතු හැකියාව අඩපණ කිරීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය මත තමන් මෙම ප්‍රහාර දියත් කළ බවයි. කෙසේ වෙතත්, ඇමෙරිකාව කලාපීය මැදිහත්වීම් නතර කරන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බව ඉරානය මීට පෙර නිවේදනය කර තිබිණි.
කලාපය තුළ පවතින අස්ථාවරභාවයට ඇමෙරිකානු-සයොනිස්ට් සතුරා වගකිව යුතු බව පවසන ඉරාන බලධාරීන්, ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට ප්‍රතිචාරයක් ලබා දීමට තමන් සූදානම් බව අවධාරණය කර සිටියි.







