2029 වසරේ ජනාධිපති සිහින දකින පිරිස් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ, එවැනි පිරිස් ඉතා අමාරුවෙන් පිරිස් ඒකරාශී කරමින් දේශපාලන ව්‍යාපාර ගොඩනැගීමට උත්සාහ කරන බවයි.
වත්මන් ජනාධිපතිවරයා කොළඹ වායුසමනය කළ කාමරවල සිට ගමට පැමිණි අයෙකු නොව, තඹුත්තේගම රඹන්ඩාගේ පුතෙකු ලෙස පොළොවේ පය ගසා සිටින, පොළොවේ සුවඳ හඳුනන නායකයෙකු බව ඇය මෙහිදී අවධාරණය කළාය.
“අපිට ආයෙත් වායුසමනය කළ කාමරවල ඉඳන් පොළොවට එන්න දෙයක් නැහැ. අපි කොහොමත් ඉන්නේ පොළොවේ. ඒ නිසා අර 29 සිහින දකින අයට අපි කියන්නේ, අපි ඉතාමත් සැලසුම් සහගතව සහ සංවිධානාත්මකව ජනතාවගේ ප්‍රශ්නවලට ඇහුම්කන් දෙමින් මේ ගමන යනවා” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.
නිදහසින් පසු විවිධ දේශපාලන පක්ෂ විසින් ජනතාවට අහිමි කරන ලද ආත්මගරුත්වය, මානව අයිතිවාසිකම්, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ කලාව වැනි සියලු ක්ෂේත්රයන් නැවත ජනතාවට දිනා දීම තම රජයේ අරමුණ බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
දූෂිත සහ චෞර දේශපාලන රැළකට නැවත කිසිසේත් බලය ලබා නොදෙන බවත්, ජනතාව ලබා දුන් බලය ඉතා ගෞරවයෙන් යුතුව ජනතාවගේම යහපත උදෙසා භාවිත කරන බවත් ඇය මෙහිදී සහතික විය.
කළුතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන ඉදිරි ජන හමුවීම් සඳහා එක්වන ලෙස ජනතාවට ආරාධනා කළ මන්ත්‍රීවරිය, රටේ අනාගතය තීරණය කරන නායකයා සමඟ එක්ව ඉදිරි ගමන ශක්තිමත් කරන ලෙසද ඉල්ලා සිටියාය.