Home Local News Room : බාසික් හා තමා සම්බන්ධකර සමාජ මාධ්‍ය කතා හදනවැයි කියා...

News Room : බාසික් හා තමා සම්බන්ධකර සමාජ මාධ්‍ය කතා හදනවැයි කියා ඩිල්ෂාන් පොලිසි යයි (VIDEO) ~

0
0
අත්අඩංගුවේ පසුවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ශිරාන් බාසික් නැමැත්තා සමඟ තමන්ව සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක ප්‍රචාර ගෙන යන බවට චෝදනා කරමින් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් නාරාහේන්පිට පිහිටි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් නායකයා සඳහන් කර සිටියේ, ඇතැම් සමාජ මාධ්‍ය පිටු සහ පුද්ගලයන් පිරිසක් හුදෙක් පරිශීලක ආකර්ෂණය (Views) ලබා ගැනීමේ අරමුණින් තමන්ගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කරමින් සිටින බවයි.

තමන් කිසිදු අයුතු මූල්‍ය ගනුදෙනුවකට හෝ නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ නොමැති බව අවධාරණය කළ දිල්ෂාන්, සිද්ධිය පිළිබඳව මෙසේ අදහස් පළ කළේය.

“මගේ කීර්ති නාමයට හානිවන ආකාරයෙන් කීර්ති රත්නායක නැමැති පුද්ගලයෙක් සහ රාජාංගනයේ හිමි කියාගන්නා ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු කිහිප දෙනෙකු විසින් මගේ රුව යොදාගෙන සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස අපහාස සිදු කරමින් සිටිනවා. රට වෙනුවෙන් වසර විස්සක් ක්‍රීඩා කරලා, ඇඟිලි දහයම කඩාගෙන, රටට ගෞරවයක් අත්කර දුන් මට මේ ආකාරයෙන් අපහාස විඳින්න බැහැ. මගේ දියණිය මේ වන විට අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. මෙවැනි අසත්‍ය ප්‍රචාර නිසා මගේ දරුවන්ට මානසිකව දැඩි බලපෑමක් එල්ල වෙනවා.”

තවදුරටත් අදහස් දැක්වූ ඔහු , මෙම සිදුවීම සමාජගත වන අවස්ථාවේදී තමන් දිවයිනේ නොසිටි බවත්, ලංකාවට පැමිණි වහාම මිතුරන් මාර්ගයෙන් තොරතුරු දැනගෙන මෙලෙස නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බවත් පැහැදිලි කළේය.

“මම සීයට සීයක් නිර්දෝෂී පුද්ගලයෙක්. ඒ නිසා තමයි අද දින මෙම පැමිණිල්ල මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ඉදිරිපත් කළේ. මගේ නමට සිදු කළ දැවැන්ත හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මගේ නීතිඥයන් සමඟ මේ වන විටත් සාකච්ඡා කරමින් පවතිනවා. ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් ගම් විකුණමින් ‘ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක්’ වැනි සිරස්තල යොදාගෙන සමාජ මාධ්‍ය හරහා සිදු කරන මේ විනාශකාරී රැල්ල නතර විය යුතුයි.”

Play

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here