Home Local News Room : ධාර්මික රජවරුන් සිටි ශ්‍රී ලංකාව වැනි රටක අධර්මිෂ්ඨ ක්‍රියා...

News Room : ධාර්මික රජවරුන් සිටි ශ්‍රී ලංකාව වැනි රටක අධර්මිෂ්ඨ ක්‍රියා සිදුවීම අතිශය කණගාටුදායකයි – අගරදගුරු ~

0
0
කිසිදු අයුරකින් බෝට්ටු මගින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ ජාවාරම් සඳහා සම්බන්ධ නොවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ධීවර ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ බේරුවල, බණ්ඩාරවත්ත ශුද්ධ වූ ලාසරුස් මුනිඳුන්ගේ දේවස්ථානයේ 150 වැනි ජුබිලි මහා මංගල්‍යයට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරුතුමන් පෙන්වා දුන්නේ වර්තමාන සමාජය තුළ ආගමික හා සංස්කෘතික වටිනාකම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවයි.

විශේෂයෙන්ම තරුණ පරම්පරාව ආගමික දර්ශනයන් අනවශ්‍ය බව කල්පනා කිරීම හේතුවෙන් මෙරට ඈත අතීතයේ සිට පැවත එන බෞද්ධ දර්ශනය ඇතුළු සියලු ආගමික හර පද්ධතීන්ට අද වන විට විශාල අභියෝගයක් එල්ල වී ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.

රටේ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳව සිය සංවේගය පළ කළ උන්වහන්සේ, මෙරටට ගලා එන මත්ද්‍රව්‍යවලින් වැඩි ප්‍රමාණයක් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටු මගින් රැගෙන එන බව පෙන්වා දුන්හ.

“අපේ තරුණ පරම්පරාව මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා විනාශ වෙනවා. පාතාලය කියන දරුණු ක්‍රමවේදය අද සමාජ ව්‍යසනයක් වෙලා. ඇතැම් ධනවත් සහ බලවත් පුද්ගලයන් මෙන්ම පාතාල නායකයන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යනවා. ඒ නිසා මම ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ බෝට්ටු මේ විනාශකාරී මත්ද්‍රව්‍ය ගෙන ඒමට ලබා නොදෙන ලෙසයි,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

ධාර්මික ප්‍රතිපත්ති මත රජකම් කළ රජවරුන් පිළිබඳ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක, මෙවැනි අධර්මිෂ්ඨ ක්‍රියා සිදුවීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද අගරදගුරුතුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියහ.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here