පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුරවදී පසුගියදා අවසන් වූ අතර 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල මෙම මස 19 වැනිදා සිට ඔක්තෝබර් මස 4 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතය.
ජපානයේ නගෝයාහීදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට ගුවන් ප්‍රවේශපත් 248ක් මිලදීගැනීම සඳහා රුපියල් ලක්ෂ 970ක මුදලක් වැය කිරීමට ජාතික ඔලිම්පික් කමිටුවේ බලධාරීන් සූදානම් වන බවත් මෙම ගුවන් ප්‍රවේශපත් රුපියල් ලක්ෂ 350 ත් -400 ත් අතර මිලකට ගැනීමට හැකිව ඇති බවත් වාර්තා වේ.
ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජික සංඛ්‍යාව කල්ඇතිව තීරණය කරමින් මීට මාස දෙකකට පමණ පෙර ගුවන් ප්‍රවේශපත් වෙන්කරගත්තේ නම් එම මුදල අඩකින් පමණ අඩුකිරීමට හැකියාව තිබියදී ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් හිතාමතාම එය ප්‍රමාද කර අවසන් මොහොත් ගුවන් ප්‍රවේශපත් ලබාගැනීමේදී වැඩි මුදලක් දැරීමට සිදුවන්නේ යැයි පවසමින් වැඩි මිලට ගුවන් ප්‍රවේශපත් මිලට ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ බලධාරීන් පිරිසක් සහ ගුවන් ප්‍රවේශපත් මිලදී ගත් අදාළ සමාගම අතර ඇතිකරගත් එකඟතාවක් මත මෙම සහභාගීත්වයට අදාළ ආසන ගණන කල් ඇතිවම වෙන්කරගැනීමට එම ගුවන් ප්‍රවේශපත් සැපයූ සමාගම කටයුතු කර තිබූ බව ද පැවසේ.
ඒ අනුව වෙනත් ගුවන් ප්‍රවේශපත් නියෝජිත සමාගමකට මෙම සේවා සැපයුම වෙනුවෙන් ඉදිරිපත්වීමට අවස්ථාවක් නොමැති වී අතර ඒ අනුව එකම සැපයුම්කරු ලෙසින් ඉහළ මිලට ගුවන් ප්‍රවේශපත් සැපයීමේ අවස්ථාව අදාළ සමාගමට දී ඇති බව ද දැනගන්නට තිබේ.
මෙම මිලදීගැනීමේ ක්‍රියාවලියේදී අදාළ ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය කිරීම, විධායක කමිටුවේ අදහස් වීමසීමට හෝ මුදල් කමිටුවේ අනුමැතිය ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ උපභාණ්ඩාගාරික යන නිලධාරීන් කටයුතු නොකළේ යැයි චෝදනා එල්ල වේ.
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල වෙනුවෙන් ගුවන් ප්‍රවේශපත් 69ක් මිලදීගැනීම ද මේ ආකාරයෙන්ම කටයුතු සිදුව ඇතැයි පැවසෙන අතර රුපියල් මිලියන 16ක පමණ මුදලකට ලබාගතහැකිව ඇති තිබූ එම ගුවන් ප්‍රවේශපත් සඳහා අවසානයේ රුපියල් මිලියන 30ක් වැය කර ඇති බව පැවසේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ මුල්‍ය කමිටුවට දැනගන්නට ලැබීමෙන් පසු ඔවුන් ඔලිම්පික් කමිටු භාණ්ඩාගාරිකවරයා ඇතුළු මෙම ගනුදෙනුවට මුල්වූ නිලධාරීන්ගෙන් ඒ පිළිබඳද විමසීමේදී මේ සඳහා අවශ්‍ය මුදල ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබෙන තෙක් පසුව ගෙවීමේ ක්‍රමයට ගුවන් ප්‍රවේශපත් ලබගැනීමට සිදුවීම හේතුවෙන් මෙසේ වැඩි මිලට ඒවා මිලදී ගැනීමට සිදුවූ බව නිදහසට කරුණ ලෙසින් ඔවුන් පවසා ඇත.
ජාතික ඔලිම්පික් කමිටු ගිණුමේ රුපියල් ලක්ෂ 1,100 ක පමණ ස්ථාවර තැන්පතු තිබියදී, ඒවා වැයකර හෝ නැතහොත් ඒවා ඇපයට තබා ඉතා අඩු පොලියට බැංකු ණයක් ලබාගනිමින් අත්පිට මුදලට ගුවන් ප්‍රවේශපත් ලබා නොගෙන, පසුව ගෙවීමේ ක්‍රමයට යැයි පවසා වැඩි මිලට ලබාගත්තේ කුමක් නිසාදැයි මූල්‍ය කමිටුව විමසා ඇති බව වාර්තා වේ.
එසේ ප්‍රශ්න කළ අවස්ථාවේදී ජාතික ඔලිම්පික් කමිටුවේ ඇතැම් නිලධාරීන් බොරු තරහක් මවාගෙන රැස්වීමෙන් පිටව ගොස් ඇති බව ද ඔලිම්පික් කමිටුවේ ඇතැම් නිලධාරීහූ පවසති.
එම නිලධාරීන් ඉතාම අත්තනෝමතික ලෙස කිසිදු අනුකමිටුවක අනුදැනුමකින් තොරව මෙම මුදල් පියවීම සඳහා චෙක්පත් ද නිකුත් කර අති අතර අවසානයේ එය ගෙවා දමා ඇත්තේද ක්‍රීඩා අමාත්‍යංශයෙන් එකී මුදල හිමිවීමට පෙර, ජාතික ඔලිමිපික් කමිටුවේ ගිණුම්වල ඇති මුදලින් වීම සැකයට, විමතියට මෙන්ම හාස්‍යයට ද කරුණ වී ඇතැයි ඔලිම්පික් කමිටුවේ ඇතැම් නිලධාරීහු පවසති.