Home Local News Room : තාජුඩීන් ඝාතනය සහ සිරිලිය අරමුදල් වංචා ගැන ශිරන්ති රාජපක්ෂට...

News Room : තාජුඩීන් ඝාතනය සහ සිරිලිය අරමුදල් වංචා ගැන ශිරන්ති රාජපක්ෂට බරපතල චෝදනා! – ඉදිරි සතියේදී ලොකු කතන්දරයක් එළියට! ~

0
0
වසීම් තාජුඩීන් ඝාතනය සහ තවත් අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට එරෙහිව පැවැත්වෙන විමර්ශන මේ වන විට ඉතා තීරණාත්මක අදියරකට පැමිණ තිබේ. ලබන සතියේදී ඇය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට නියමිතය. 

ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘සිරිලිය සවිය’ පදනම මගින් පවත්වාගෙන ගිය ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ලබන සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ඇයට දැනුම්දී ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය සඳහා බව පවසමින් කෝටි ගණනක රේගු බදු සහන යටතේ මෙරටට ගෙන්වා, පසුව ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන ගිය ‘කාල්ටන් පෙරපාසල’ වෙත ලබාදී තිබූ සුඛෝපභෝගී බස් රථ දෙකක් සම්බන්ධයෙන් දූෂණ සහ මූල්‍ය අක්‍රමිකතා සිදුකර ඇති බැවින් අපරාධ චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවට නීතිපති දෙපාර්තමේන්තුව ලබාදුන් උපදෙස් මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මීට අමතරව මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිමය කාලසීමාවේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් සිරිලිය සවිය පදනමට ලබාදුන් රුපියල් මිලියන 100 ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ක්‍රියාත්මක වේ.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑනර් යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සඳහා සිරිලිය සවිය පදනමට අරමුදල් අවශ්‍ය බව සඳහන් ලිපියක් පදනම් කරගනිමින්, එවකට සිටි NSB සභාපතිවරයාගේ වාචික නියෝග මත මෙම මුදල් පරිත්‍යාග කර ඇති බව විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත. එම ඉල්ලීම සම්බන්ධයෙන් නිසි තොරතුරු තහවුරු කරගැනීමක් සිදුකර නොමැති බවද කියැවේ.

පසුව මහින්ද රාජපක්ෂගේ පුතෙකුගේ උපන්දින සැමරුමකට සමගාමීව මෙම CT ස්කෑනර් යන්ත්‍රය රෝහලට පරිත්‍යාග කර ඇති අතර, එය පදනමට ලැබුණු අරමුදල්වලින් මිලදී ගත් බවට නිරූපණය කර ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ.

සිරිලිය සවිය පදනමේ බැංකු ගනුදෙනු සිදුකර ඇත්තේ කොළඹ ඩාලි පාරේ පිහිටි සුදුවැල්ල මහජන බැංකු ශාඛාවේ ගිණුමකිනි. ශිරන්ති රාජපක්ෂ ඇතුළු කිහිපදෙනකු එහි බලයලත් අත්සන්කරුවන් ලෙස නම්කර තිබේ.

එහි සිටි ඇතැම් අත්සන්කරුවන් සඳහා 222222222 සහ 111111111 වැනි ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංක ලබාදී ඇති බව විමර්ශකයන් අනාවරණය කරගෙන ඇත. ගිණුම් හිමියන්ගේ සම්පූර්ණ තොරතුරු ඇතුළත් ලේඛනය ද (Mandate) අතුරුදහන් වී ඇති බව පැවසේ. එබැවින් විමර්ශකයන් මූල්‍ය අක්‍රමිකතා පමණක් නොව, ව්‍යාජ තොරතුරු සහ කූට ලේඛන සපයා තිබීම පිළිබඳවද පරීක්ෂණ පවත්වයි.

ගිණුම් වාර්තාවලට අනුව ගනුදෙනු 88 කින් රුපියල් 82,900,089 ක් ගිණුමට බැරවී ඇති අතර ගනුදෙනු 129 කින් රුපියල් 39,015,651 ක් ආපසු ලබාගෙන ඇත. මීට අමතරව සිරිලිය සවිය පදනම සතුව රුපියල් මිලියන 10 ක ස්ථාවර තැන්පතුවක් ද තිබූ බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ.

කොළඹ 07, ටොරින්ටන් ඇවිනිව් හි අංක 260/17 දරන නිවස සිරිලිය සවිය අරමුදල්වලින් රුපියල් මිලියන 35 කට මිලදී ගෙන මේරි ලූර්ඩස් වික්‍රමසිංහ නමැත්තියකගේ නමට ලියාපදිංචි කර ඇත. විමර්ශකයන් ඇස්තමේන්තු කර ඇත්තේ මෙම දේපළෙහි සැබෑ වටිනාකම රුපියල් මිලියන 200 කට වඩා වැඩි බවයි. ‘තාරුණ්‍යයට හෙටක්’, ‘නිල් බලකාය’ සහ ‘සිරිලිය සවිය’ යන සංවිධාන සියල්ලම ලියාපදිංචි කර තිබුණේ ද මෙම ලිපිනයේමය.

තාජුඩීන් ඝාතනය සම්බන්ධ විමර්ශනවලදී, එම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් රථය සිරිලිය සවිය පදනමේ කටයුතු සඳහා භාවිත කර ඇති බවද අනාවරණය වී ඇත. රතු කුරුස සමාජය විසින් පදනම වෙත ලබාදී තිබූ මෙම වාහනය භාවිත කිරීමට පෙර එහි වර්ණය වෙනස් කර ඇති බවද මීට පෙර හෙළිවිය.

තාජුඩීන් ඝාතනය වූ දින අරලිය ගහ මැදුරේ සිට නාරාහේන්පිට පොලිසිය ඇතුළු ස්ථාන කිහිපයකට ලබාගත් දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස විමර්ශනය කර ඇත.

මේ අතර, තාජුඩීන්ගේ ඝාතනය සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය, වාහන අලෙවි ව්‍යාපාරයක නිරතව සිටි ප්‍රාදේශීය සභා අපේක්ෂිකාවකගේ සැමියාගේ මරණය අතර යම් සබඳතාවක් තිබේද යන්න පිළිබඳව ද විමර්ශකයන් පරීක්ෂණ පවත්වයි.

තාජුඩීන් මියයාමට මොහොතකට පෙර ඔහුගේ මිතුරෙකු වූ මෙම ව්‍යාපාරිකයා සමඟ සිට ඇති බව පැවසේ. ව්‍යාපාරිකයාගේ බිරිඳ පොහොට්ටු පක්ෂයේ ප්‍රබලයකු සමඟ සමීපව දේශපාලන කටයුතුවල නිරතව සිට ඇති අතර ඇය 2018 පළාත් පාලන මැතිවරණයට ද තරඟ කර ඇත.

2019 අප්‍රේල් 21 වැනි දින ෂැංග්‍රි-ලා හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මෙම ව්‍යාපාරිකයා මියගියේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව පූජ්‍ය සිරිල් ගාමිණී පියතුමන් ඉදිරිපත් කළ පෙත්සමක ද ප්‍රහාරයෙන් මියගිය අයෙකු ලෙස මොහුව හඳුනාගෙන තිබේ.

එදින මෙම ව්‍යාපාරිකයා තනිවම ෂැංග්‍රි-ලා හෝටලයට ගියේ මන්ද යන්න හෝ පසුව හෝටල් ප්‍රධාන ශාලාවට පැමිණියේ මන්ද යන්න පිළිබඳව තවමත් කරුණු තහවුරු කර ගැනීමට විමර්ශකයන්ට හැකි වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here