තමන්ව කඩිනමින් බේරා ගැනීමට කටයුතු කරන ලෙස අනෝජන් පසුගිය දින දෙක තුළ සිය පවුලේ ඥාතීන් අමතමින් බැගෑපත්ව ඉල්ලා ඇති අතර, ඔහු නිදහස් කරගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසක් මේ වන විටත් විවිධ පියවර ගනිමින් සිටියි.
සෞදි තානාපති කාර්යාලය වෙත ලිපිය භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයේ අධ්යක්ෂ සුභාෂන සුබවික්රම මහතා සඳහන් කළේ, අනෝජන් විසින් සිදුකර ඇතැයි පැවසෙන ප්‍රකාශය එරට නීතිය හමුවේ අතිශය බරපතළ එකක් බැවින්, ඔහුට සමාව ලැබේද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකි බවයි. කෙසේ වෙතත්, ඔහුගේ මරණ දඬුවම ලිහිල් කර යම් සහනයක් සලසන ලෙස සෞදි රජුගෙන් කාරුණිකව ඉල්ලා සිටි බව හෙතෙම පැවසීය.
මෙම අර්බුදකාරී සිදුවීම මුල් කරගනිමින් මෙරට දේශපාලන වාසි තකා උද්ඝෝෂණ සිදු කිරීමෙන් හෝ ආවේගශීලී ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස අවධාරණය කළ සුබවික්රම මහතා, එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් අසරණ වී සිටින තරුණයාගේ ජීවිතය තවදුරටත් අනතුරේ වැටෙන බව පෙන්වා දුන්නේය.
සෞදි අරාබිය තුළ එරට නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක වන බව සිහිපත් කළ ඒ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශය මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ මැදිහත්වීමක් පමණක් මේ සඳහා භාවිත කළ යුතු බවත්, අතීතයේදී මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා මඟින් සහනයක් ලබාගැනීමට රජයට වැඩි හැකියාවක් පවතින බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න







