Home Local News Room : 22 සම්මත කරන්න ජනමත විචාරණ අවශ්‍ය නෑ… 2/3 ඇති...

News Room : 22 සම්මත කරන්න ජනමත විචාරණ අවශ්‍ය නෑ… 2/3 ඇති – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දේ! ~

0
0
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අනවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ විධිවිධාන යටතේ ජනතාවගේ ජනමත විචාරණ අනුමැතියකින් තොරව, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) විශේෂ බහුතර ඡන්දයෙන් පමණක් මෙම පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 සිට 65 දක්වා ද දීර්ඝ කිරීමේ අරමුණින් මෙම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් වූ මෙම පනත් කෙටුම්පතෙහි අඩංගු ඇතැම් වගන්තිවල වචන සංශෝධනය විය යුතු ආකාරය ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය නිගමනය මඟින් පෙන්වා දී ඇති අතර, පනත බලාත්මක වන දිනට අගවිනිසුරු ධුරය හොබවන තැනැත්තාට අදාළ වන පරිදි පනවා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ද කරුණු දක්වා ඇත.

මේ අතර, ඊට සමගාමීව ඉදිරිපත් කරන ලද අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවත්, එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

කථානායකවරයාගේ නියෝගය පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සම්පූර්ණ තීන්දුව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් නිල වාර්තාවට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here