ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගමක කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක සාපරාධී විශ්වාසය කඩකළ බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරිය සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි.
ඒ අනුව විත්තිකාර උදය ගම්මන්පිල මහතා අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරිය නියෝග කළාය.
ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නැමැත්තාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සාපරාධී ලෙස විශ්වාසය කඩකරමින් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා නඟමින්, පසුගිය යහපාලන රජය සමයේදී නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.







