ඔවුන් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ ඉහළම පාලක මණ්ඩලවල සිටින්නන් වෙනත් දැවැන්ත මූල්‍ය සහ ව්‍යාපාරික සමාගම්වල උපදේශකයින් හා අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයින් බවයි.
එනිසාම එම ව්‍යාපාරික සමාගම්වලට වාසිදායක වන ආකාරයට ඔවුන් යම් යම් තීන්දු තීරණ ගන්නා බවට චෝදනා කරයි.
2023 අංක 16 දරන නව ශ්‍රී ලංකා මහ බැංකු පනතට අනුව, මහ බැංකුවේ පරිපාලනය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම ප්‍රධාන මණ්ඩල දෙකක් හරහා සිදු වේ.
ඒ මහ බැංකුවේ පරිපාලනය සහ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කරන ‘පාලක මණ්ඩලය’ (Governing Board – GB) සහ පොළී අනුපාත ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණය කරන ‘මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය’ (Monetary Policy Board – MPB) ය.
මෙම පාලක මණ්ඩලය (GB) සාමාජිකයින් හත් දෙනෙකුගෙන් (7) සමන්විත වන අතර, එහි රජය නියෝජනය කරන එකම පූර්ණකාලීන නිලධාරියා වන්නේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (සභාපති) පමණි.
ඉතිරි සාමාජිකයින් හය (6) දෙනාම බාහිරින් පත්කළ අය වන අතර, ඔවුන් බහුජාතික සමාගම්වල අධ්යක්ෂවරුන් සහ ජාත්‍යන්තර ආයතනවල උපදේශකයින් ය.
වඩාත් විශේෂිත කරුණ වන්නේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ (MPB) තීරණ ගැනීමේ ක්‍රියාවලියට ද මෙම පාලක මණ්ඩලයේ සාමාජිකයින් හය දෙනාම ඍජුවම ඇතුළත් වීමයි.
පහත දැක්වෙන්නේ ඔවුන් සහ ඔවුන් නියෝජනය කරන සමාගම් ජාලයයි.
නිහාල් ෆොන්සේකා –
Brandix Lanka Ltd., Phoenix Industries Ltd, Phoenix Ventures Ltd, Mobitel (Pvt) Ltd., සහ Sri Lanka Telecom PLC යන සමාගම්වල අධ්යක්ෂවරයෙකි.
ආචාර්ය රවී රත්නායක –
මහ බැංකුව විසින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ පසු බංකොලොත් වූ ආන්දෝලනාත්මක Kanrich Finance Ltd හි හිටපු අධ්යක්ෂ මණ්ඩල සභාපතිවරයා ය. මීට අමතරව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සහ USAID වැනි ආයතන සඳහා උපදේශකත්වය සපයයි.
අනුෂ්ක විජේසිංහ –
ධම්මික පෙරේරාට අයත් Hayleys Fibre PLC සහ Fairfirst Insurance Ltd යන සමාගම්වල අධ්යක්ෂවරයෙකි.
විෂ් ගෝවින්දසාමි –
කෘෂි ව්‍යාපාර රැසක් හිමි Sunshine Holdings PLC හි අධ්යක්ෂවරයෙකි. ඊට අමතරව Colombo Dockyard PLC, Mazagon Dock Shipbuilders Ltd (India), Dialog Axiata PLC, Softlogic Life Insurance PLC, United Motors Lanka PLC, TAL Lanka Hotels PLC / Taj වැනි බහුජාතික සමාගම් රැසක අධ්යක්ෂවරයෙකි. තවද, ඔහු ආයෝජන මණ්ඩලයේ (BOI) ද අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ.
මනිල් ජයසිංහ –
කෘෂි ව්‍යාපාර, සුපිරි වෙළඳසැල් ජාල, හෝටල් සහ මහල් නිවාස ව්‍යාපාරවල නියුතු බහුජාතික සමාගමක් වන John Keells Holdings PLC ඇතුළුව DIMO PLC, C.W. Mackie PLC, Lanka IOC PLC, Vallibel One PLC, Ceylon Hospitals PLC (Durdans), Royal Ceramics Lanka PLC, Lanka Milk Foods (CWE) PLC, සහ Lanka Dairies (Pvt) Ltd යන සමාගම් රැසක අධ්යක්ෂවරයෙකි.
මෛත්‍රී එවාන් වික්‍රමසිංහ –
Convenience Foods Lanka PLC සමාගමේ අධ්යක්ෂවරයෙකි.
මෙවැනි පසුබිමක් තුළ, පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල අධ්යක්ෂ ධුර දරන පුද්ගලයින් මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදනයට සෘජුවම දායක වීම මහ බැංකුවේ ස්වාධීනත්වයට තර්ජනයක් ද යන ප්‍රශ්නයක් බව වගා ආයෝජන ලබාගත් සමාගම් චෝදනා කරයි.
බැලූ බැල්මට ද මේ තත්ත්වය “ලාභ පරස්පරතාවයක්” (Conflict of Interest) නිර්මාණය වීමේ අවදානමක් ඇති කරන බව මධයස්ථ ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ.
කෙසේවුවද, කෘෂි ව්‍යාපාර පවත්වාගෙන යන සමාගම්වල අධ්යක්ෂවරුන් ද මෙහි සිටීමත් ඔවුන් පෙන්වන්නේ මධ්‍යස්ථ නොවන තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත්, නව මහ බැංකු පනත හරහා මෙවැනි බලපෑම් වැළැක්වීමට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට විශේෂ නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව මහ බැංකුවෙන් සෘජුව නියාමනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු හෝ මුදල් සමාගම්වල තනතුරු දැරීම මෙම කමිටු සාමාජිකයින්ට නීතියෙන් තහනම් කර ඇත.
දැඩි නුසුදුසුකම් සහ නීති:
පාලක මණ්ඩලයට (GB) හෝ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට (MPB) පත් කරනු ලබන බාහිර සාමාජිකයින් කිසිදු වාණිජ බැංකුවක හෝ මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන මූල්‍ය ආයතනයක තනතුරු දැරීම පනතින් දැඩිව තහනම් කර ඇත.
(මෙම සාමාජිකයින් බැංකු නොවන වෙනත් බහුජාතික සමාගම් නියෝජනය කරන්නේ එබැවිනි).
තීරණ ගැනීමේ තාක්ෂණික ක්‍රියාවලිය:
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයට (MPB) අවසන් තීරණ ගැනීමට පෙර, ඊට අවශ්‍ය තාක්ෂණික විශ්ලේෂණ සහ නිර්දේශ ලබා දෙන්නේ මහ බැංකුවේ පූර්ණ කාලීන නිලධාරීන්ගෙන් පමණක් සමන්විත ‘මුදල් ප්‍රතිපත්ති කමිටුව’ (Monetary Policy Committee – MPC) මගිනි.
මීට අමතරව පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණ කමිටුවලට (SEC) ඇත්තේ උපදේශන බලයක් පමණි.
පාරදෘශ්‍යභාවය සහ හෙළිදරව් කිරීම:
මේ අතර, යම් තීරණ ගැනීමේ මට්ටමකදී හෝ තමන් සම්බන්ධ ව්‍යාපාරික ක්ෂේත්රයකට අදාළ කරුණක් සාකච්ඡා වේ නම්, අදාළ සාමාජිකයා ඒ බව හෙළිදරව් කිරීමටත්, එම තීරණවලින් ඉවත් වීමටත් නීතිමය ප්‍රතිපාදන නව පනතේ ඇතුළත් කර තිබේ.







