අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කර ඇති එම ලිඛිත පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ, මොවුන් දෙදෙනා ‘BnS’ නාමයෙන් දිවයින පුරා පවත්වනු ලබන එක් සංගීත ප්‍රසංගයක් සඳහා රුපියල් මිලියනයකට ආසන්න හෝ ඊට වැඩි මුදලක් අය කරන බවයි.
එලෙස ප්‍රසංග සඳහා ලබාගන්නා මුදල් නිල වශයෙන් බැංකු ගිණුම්ගත නොකර අතින් ලබා ගනිමින්, රජයට ලැබිය යුතු විශාල බදු මුදල් පැහැරහරිමින් මොවුන් සිය වෘත්තීය කටයුතුවල නිරත වන බවට පැමිණිලිකරු චෝදනා කර ඇත. මෙම බදු පැහැරහැරීම වසර ගණනාවක සිට අඛණ්ඩව සිදුවන්නක් බවද එහි සඳහන් වේ.
විශේෂයෙන්ම 2026 ඔක්තෝබර් 01 වන දිනට පෙර මොවුන් දෙදෙනා සහභාගී වූ අවසන් සංගීත ප්‍රසංග 20 හි මුදල් ගිණුම්ගත කිරීම් නිසි පරීක්ෂාවකට ලක් කළහොත් මෙම මහා පරිමාණ බදු පැහැරහැරීම සහ ඒ හරහා රජයට සිදුකර ඇති මූල්‍ය පාඩුව පහසුවෙන්ම හෙළිදරව් කරගත හැකි බව අදාළ ලිපියේ දක්වා තිබේ.
එබැවින් මේ සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර, රජයට පාඩු සිදුකිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, රජයට අහිමි කර ඇති මිලියන ගණනක බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන ලෙසත් එම පැමිණිල්ල මඟින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.







