අගෝස්තු 14 වනදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී සිදුවූ ඒ අත්අඩංගුවට ගැනීම නිකම්ම නිකම් පාතාල නායකයෙකුගේ අවසානයක් පමණක් නොවේ.
⠀
⠀
ශිරාන් බාසික් නමැති මේ මහා පාතාල මෝරාව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) නිලධාරීන් විසින් කොටුකර ගනු ලබන්නේ කිසිවෙකුටත් සිතාගත නොහැකි රහස් රැසක් සමගිනි.
⠀
සාමාන්‍ය මිනිසෙකුට තම ජීවිත කාලය පුරාම හරිහම්බ කළත් දැකගන්නට නොලැබෙන තරමේ අතිවිශාල ධනස්කන්ධයක් සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාලයක් මේ වනවිටත් එකින් එක හෙළිවෙමින් පවතී.
⠀
මෙය නිකම්ම කුඩු විකිණීමක් නොවේ. මෙය ඝාතන පහක්, මහා පරිමාණ කප්පම් ගැනීම්, සුපිරි නළු නිළියන්ගේ රහස් සාද සහ ඉහළ පෙළේ දේශපාලකයන්ගේ සම්බන්ධතා වලින් පිරුණු භයානක කතාන්දරයකි.
⠀
විමර්ශන දැල මේ වනවිට ශිරාන් බාසික්ගෙන් නොනැවතී ඔහුගේ බිරිඳ, පියා ඇතුළු මුළු පවුලම වටකරමින් වේගයෙන් ව්‍යාප්ත වී අවසන්ය.
⠀
මේ කතාවේ හැම පිටුවක්ම පෙරළන විට හමුවන්නේ ලේ සහ කළු සල්ලි වලින් ලියවුණු අඳුරු රහස්‍ය.
⠀
එයාර් හොස්ටස් බිරිඳ ෆාතිමා රිකාගේ සුපිරි Event Management ගේම
⠀
ශිරාන් බාසික්ගේ බිරිඳ වන ෆාතිමා රිෆ්කා යනු නිකම්ම නිකම් ගෘහණියක් නොවේ.
⠀
ඇය මීට පෙර ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවිකාවක (Air Hostess) ලෙස ලොව පුරා සංචාරය කළ, සමාජයේ ඉහළම තැන්වල ගැවසුණු කාන්තාවකි.
⠀
ඇයගේ මේ අතීත සම්බන්ධතා සහ සමාජ දැනුම මේ මහා ජාවාරමට අපූරුවට පාවිච්චි කර ඇති බවට දැන් සැක මතුවී තිබේ.
⠀
ඇය තලවතුගොඩ ප්‍රදේශයේ ආරම්භ කරන ලද අතිසුඛෝපභෝගී ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතනය මෙරට විමර්ශකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත්තේ නිකම්ම නොවේ.
⠀
කුඩු වලින් උපයන කෝටි ගණන් කළු සල්ලි කිසිදු සැකයකින් තොරව සුදු කරගැනීමට (Money Laundering) මේ ආයතනය අපූරු තිප්පොළක් කරගෙන ඇති බවට සාක්ෂි මේ වනවිටත් ලැබෙමින් පවතී.
⠀
බොරු බිල්පත් හදමින් ලංකාවේ ප්රභූන්ගේ පාටි සංවිධානය කරන මුවාවෙන් මේ හරහා විශුද්ධිකරණය වූ මුදල මෙතෙකැයි කියා තවමත් ගණනය කර නොමැත.
⠀
පසුගිය කාලයේ ආරක්ෂක අංශවල ඇස් ඔවුන් වෙත හැරෙද්දී මොවුන් ඉතා සූක්ෂම ලෙස ඩුබායි බලා පලාගියේ මේ ආයතනයද වසා දමමිනි.
⠀
ඒ බව ශිරාන් බාසික් විසින්ම දැන් ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කර තිබීම මේ ජාලයේ බිඳවැටීමේ ආරම්භයයි.
⠀
පියාත් හිරේට යැවූ ගම්පහ මිලියන 30ක සුපිරි නිවාස මගඩිය
⠀
තමන්ගේම ලේන් උපන් දරුවාගේ පාපතර වැඩ නිසා වයසක පියෙකුට හිරබත් කන්නට සිදුවීමේ ඛේදවාචකය ශිරාන් බාසික්ගේ පියාගේ ඉරණමෙන් මනාව පැහැදිලි වේ.
⠀
ගම්පහ ප්‍රදේශයේ පිහිටි අතිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන තිහක් පමණ වටිනා නිවසක් සිය පියාගේ නමින් මිලදී ගැනීමට බාසික් කටයුතු කර තිබුණි.
⠀
කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව මෙතරම් වටිනා නිවසක් පියා වන අබ්දුල් රසාක් මොහොමඩ් බාසික්ගේ නමින් මිලදී ගත්තේ කෙසේද?
⠀
මේ පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු CCIB නිලධාරීන් විසින් පියා අත්අඩංගුවට ගනු ලැබීය.
⠀
කොළඹ අංක දෙක ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණේ නීතියේ රැහැනින් කිසිවෙකුටත් ගැලවිය නොහැකි බව ඔප්පු කරමිනි.
⠀
කොළඹින් පටන් ගෙන යුරෝපය දක්වා විහිදුණු හෝටල් ජාලය
⠀
මෙය ඇසූ විට ඕනෑම කෙනෙකුට තරු පෙනෙනු නිසැකය.
⠀
කොළඹ මුහුදු තීරය ආශ්රිත අතිශය මිල අධික, ඉඩම් අගයෙන් ඉහළම ස්ථානයක් වන මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේ පමණක් හෝටල් පහක පූර්ණ හිමිකාරිත්වය තමන් සතුව පවතින බව බාසික් හෙළි කර තිබේ.
⠀
මේවා සාමාන්‍ය හෝටල් නොව සංචාරකයන් ගැවසෙන ඉහළම පෙළේ මහා පරිමාණ ආයෝජනයන්ය.
⠀
වැල්ලවත්ත, බොරලැස්ගමුව සහ දෙහිවල ප්‍රදේශවල පිහිටි කෝටි ගණන් වටිනා දේපළවලට අමතරව මේ කුඩු සල්ලි යුරෝපය දක්වාම ගලාගෙන ගොස් තිබේ.
⠀
ස්විට්සර්ලන්තය, ඉතාලිය සහ ප්‍රංශය වැනි ලෝකයේ ධනවතුන් පමණක් ගැවසෙන යුරෝපීය රටවලද ඔවුන්ට අයත් හෝටල්, සුඛෝපභෝගී වාහන සහ දැවැන්ත වත්කම් පවත්වාගෙන ගොස් ඇත.
⠀
මෙම ජාත්‍යන්තර කළු සල්ලි ජාලය සහ රහසිගත බැංකු ගිණුම් ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට (FIU) මේ වනවිටත් අධිකරණ නියෝග නිකුත් කර අවසන්ය.
⠀
ඩුබායිවලදී හෙලිකොප්ටර් පුහුණුවක් ගත්තේ ඇයි? ඊළඟ සැලසුම කුමක්ද?
⠀
ශිරාන් බාසික් යනු සාමාන්‍ය පාතාලයෙකු නොවන බව ඔප්පු වන හොඳම සාක්ෂිය මෙයයි.
⠀
ඔහු ඩුබායිහි රැඳී සිටි කාලසීමාව තුළදී හෙලිකොප්ටර් යානා පැදවීම පිළිබඳ විශේෂ ගුවන් නියමු පුහුණුවක් ලබා ඇති බවට හෙළිවී තිබේ.
⠀
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙලෙස අහස ජයගන්නට පුහුණු වූයේ ඇයි?
⠀
එය ජාත්‍යන්තරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ අලුත්ම ක්‍රමවේදයක් සඳහාද?
⠀
නැතහොත් කොලොම්බියානු පාතාල නායක පැබ්ලෝ එස්කෝබාර් මෙන් තමන්ගේම ගුවන් යානා බලඇණියක් හදාගෙන හදිසි අවස්ථාවකදී දේශසීමා හරහා පලායාමේ අරමුණින්ද?
⠀
මේ පිළිබඳව ආරක්ෂක අංශ දැන් දිවා රෑ නොබලා දැඩි විමර්ශනයක නිරත වී සිටී.
⠀
අරුන්දික ප්‍රනාන්දුගෙන් ප්‍රශ්න කිරීම් සහ බන්ධනාගාරයේ ලේ වැකුණු අබිරහස
⠀
මේ කතාවේ දේශපාලන සම්බන්ධයද දැන් ටිකෙන් ටික එළියට එමින් පවතී.
⠀
ශිරාන් බාසික් සමඟ පැවති බව කියන සැකකටයුතු ගනුදෙනු සහ වත්කම් පිළිබඳ විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් CCIB නිලධාරීන් විසින් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
– උපුටා ගැනීමකි
⠀
දේශපාලන බලය සහ පාතාලය අතර ඇති මේ අඳුරු සබඳතාව රටම කම්පනයට පත්කර ඇත.
⠀
ඊටත් වඩා භයානකම කරුණ වන්නේ 2012 වසරේ සිදුවූ ලේ වැකුණු වැලිකඩ බන්ධනාගාර ගැටුම මෙන්ම මෑතකාලීන බන්ධනාගාර නොසන්සුන්තාවන් පිටුපසද මොහුගේ සබඳතාවක් පැවතියේද යන්නයි.
⠀
තමන්ගේ විරුද්ධවාදීන් බන්ධනාගාරය තුළදීම ඝාතනය කිරීමට තරම් මොහු බලවතෙකු වී සිටියාද යන්න පිළිබඳව දැන් අලුතින්ම විමර්ශන ආරම්භ වී තිබේ.







