ඒ අනුව, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත ඉදිරියේදී සිරගත වන භික්ෂූන් වහන්සේලා චීවරය සහිතව බැහැරට ගෙනයාමට හැකි වන පරිදි නව නීති රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.
සාකච්ඡාවට මුල් වූ පසුබිම
පසුගියදා ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
පවතින නීතිමය තත්ත්වය: වර්තමාන බන්ධනාගාර පද්ධතිය පාලනය වන 1877 බන්ධනාගාර ආඥා පනත තුළ භික්ෂූන් වහන්සේලා උදෙසා වෙනම විශේෂ රෙගුලාසි සකස් වී නොමැති බවත්, නිලධාරීන් පවතින නීති රාමුව තුළ පමණක් ක්‍රියා කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.
නීතිය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව: තනි තනි පුද්ගලයන් උදෙසා පවතින නීතිය අභිභවා නියෝග දීමට තමන් සූදානම් නැති බවත්, කළ යුත්තේ නීතිය වර්තමානයට අනුරූප වන පරිදි සංශෝධනය කිරීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
මහා සංඝරත්නයේ යෝජනා සහ විශේෂ කමිටුව
භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයක් උදාවීම සමස්ත මහා සංඝරත්නයට සහ සමාජයට ඉතා සංවේදී කරුණක් බව අනුනායක හිමිවරුන් සහ ලේඛකාධිකාරී හිමිවරුන් පෙන්වා දුන්හ.
ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමක් වසර 03කට අධික කාලයකට සිරගත කෙරෙන අවස්ථාවලදී, අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දී, උන්වහන්සේලා විවෘතව බැහැරට රැගෙන යාමට අදාළ වන පරිදි රෙගුලාසි සකස් කිරීම සුදුසු බව මහා සංඝරත්නය යෝජනා කළේය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම හරහා අදාළ සහනය අවභාවිත කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන බවද උන්වහන්සේලා පෙන්වා දුන්හ.
මෙම ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා සාමාජිකයන් 05 දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පසුගිය 08 වැනි දින පත් කරන ලදී:
ප්‍රින්ස් සේනාධීර මහතා (සභාපති – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්)
පියුමන්ති පීරිස් මෙනවිය/මහත්මිය (අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්)
වසන්ත ආරියරත්න මහතා (රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්)
ආර්.එම්.ජී. සේනාරත්න මහතා (බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්)
මෙම කමිටුවේ පළමු රැස්වීම පසුගිය 09 වැනිදා පැවැත්වුණු අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගෝපදේශ ලබා දෙන ලදී.
සති දෙකක් ඇතුළත අධ්‍යයන කටයුතු අවසන් කර නව රෙගුලාසි යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා සහ අදහස් ලබා ගැනීම සඳහා එළඹෙන සතියේ මැද වන විට ඒවා මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙම නව රෙගුලාසි සම්මත වීමත් සමඟම සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ නිර්දේශ මත චීවරය සහිතව බැහැරට ගෙනයාමේ නිල ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක වනු ඇත.







