පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුරාධපුර ප්‍රදේශයේ පැවැති ජනරැලියක් අමතමින්, අධිකරණ නියෝගයක් දැඩි ලෙස විවේචනය කරමින් ඔහු විසින් සිදුකරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ (අංක 01) විභාග වන නඩුවකට අදාළව, 4 වන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 2026 සැප්තැම්බර් 04 වන දින අධිකරණය විසින් ලබාදුන් නියෝගය විමල් වීරවංශ මහතා විසින් අදාළ ජනරැලියේදී විවේචනයට ලක්කර තිබිණි.
එම ප්‍රකාශය මගින් අධිකරණයට අපහාසයක් සිදුව ඇත්දැයි විමර්ශනය කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත නියෝගයකට අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
එම විමර්ශනවලට අදාළව අදාළ ප්‍රකාශය විකාශය කළ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා 7කින් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන (Unedited Raw Footage) සහිත DVD තැටි ලබාගැනීමට අධිකරණ නියෝග මත පියවර ගැනුණි.
ඊට අමතරව:
ජනරැලිය සංවිධානය කළ පුද්ගලයින් සහ නිවේදකයින්,
මාධ්‍යවේදීන් සහ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්,
ක්‍රීඩා පිටිය අවට ප්‍රදේශවාසීන්,
ශබ්ද විකාශන යන්ත්‍ර සපයන ලද පුද්ගලයින්
ඇතුළු විශාල පිරිසකගෙන් සාක්ෂි සටහන් කරගනිමින් පොලීසිය දීර්ඝ විමර්ශනයක් පවත්වා ඇත.
විමර්ශන සටහන් ඇතුළත් උධෘත ගොනු, වීඩියෝ දර්ශන සහිත DVD තැටි සහ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව කොළඹ අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2024 අංක 08 දරන අධිකරණයට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනතේ ප්‍රතිපාදන අනුව නඩු පැවරීමේ කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව, අභියාචනාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ගොනු අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදීමට පොලීසිය කටයුතු කර ඇත.